Friday, July 5, 2019

හූව මැද අවසන් ගමන් ගිය

හූව මැද අවසන් ගමන් ගිය




Image may contain: 5 people, selfie, text and closeup


නාදුනනවුන් සමග
කිසිවක්ම නොදොඩාම
ප්රජනනය පාඩම නොදැන
ඈ හිටියෙ හැම රෑක

ඇග මස සිදුරු කරවන
රාගයෙන් ඇවිලෙන
අවනතව උන් බසට
ඉදියි ගොදුර වී මසට

මහලු වෘකයින්ද
හැඩිදැඩි අමනයින්ද
ඈ සිරුර රස කරන්නට
නොබියව පුදයි ඈ නිහඬවම

ඔව්...ඇය සුද්දීය
උබලාම මගට බැස්සුව
පිරිමින්ගෙ පව් වලට
හූව මැද අවසන් ගමන් ගිය

✍️හේමාෂි සෙනරත්

ඈ කවුද...?



Image may contain: 1 person

ඈ කවුද...?


පිරිමි විමතියෙන්
ඔවුහු වෙහෙසෙති
සොයන්නට ඈ කවුද...?
ස්පර්ශ කරන්නට
ඈ තුල වූ අභිරහස
වටොර උකුල මත
පාවෙන පියයුරු දෙස
තබාවි උකුසු ඇස
නමුදු....,
විලාසයේ අසිරිය තුළ
ඈ සිටී ඈම ලෙස.
✍️ හේමාෂි සෙනරත්

ජීවිතේ කියන්නේ


Image may contain: 8 people, people smiling, crowd

ජීවිතේ කියන්නේ
ජීවිතේ කියන්නේ 
නොහිතූ මොහොතක දැවී යාමක්
බවුන්සර් පන්දුම නිතර ලැබෙන්නක් 
හයේ පාරවල් නොලබාම දිවීමක්
මේවා මෙහෙම නෑ කියලා
පෙන්වන ආණ්ඩු
එවන්නෙම නෝබෝල්
මිනිස්සු ගැහුවෙම
පපර බෑන්ඩ්


✍️ හේමාෂි

Sunday, October 7, 2018

සිහින විමානෙන් ඔබ්බට

                                                              සිහින විමානෙන් ඔබ්බට

මා විටෙක වර්ණ වලින් පිරී යනවා.හරියට දේදුන්නක් වගේ.මුළු අවකාශයම වර්ණ වලින් පිරිලා.ඒක ලස්සන ගැන වූ ගැඹුරැ හැඟීමක් ලෙස මට දැනෙනවා.ඒ වර්ණ මැද මා මධ්‍යගතව සිටිනවා. මම ජීවත් වන බව දැනෙනවා. මේ ලෝකයට මම අමුත්තකු නොවේ. පිටස්තරයෙකුද නොවේ. මේ ලස්සන තුළ අරගලයක් නෑ. ඝට්ටනයක් නෑ. මේ මොහොතේ මගේ සිත ප්‍රමෝදමත්. මේ හැගීම් මා තුළ මෙතෙක් සිදු වූ සිදුවීම් හා සිතුවිලි වල මල් හටගෙන විකසිත වුනා වූ දැනුවත් බාවයක් ලෙස මට හැඟේ.ඒ තුළ
සංතාප නෑ.
සංවේග නෑ.
සිතේ පවතින්නේ ප්‍රමෝදයම පමනයි. සිත ප්‍රමෝදයෙන් පවතින විට සැබෑ පැවැත්ම තීරණය වනවා. මේ මොහොතේ මට දෘශ්‍යමාන සියලු වස්තූන් අලංකාර වර්ණවත් චිත්තරූප මවනවා.හරියට හීන ගොන්නක සුරංගනා ලෝකයක් වගේ. ඒත් ක්ෂණයකින් චිත්ත රෑප අතුරුදහන්ව යනවා.හරියට අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ.

එවිට මා නැවත හුදකලා වෙනවා. මොහොතකින් මෙතුවක් පැවති වාස්තවික ලෝකය දියවී ගොස් ඇති බව දැනෙනවා. මානසික ලෝකයද දියවී ගොසිණි. මට ඉතිරිව ඇත්තේ ශුන්‍ය සිතුවිලි තුල ඇවිදින්නාවූ මා පමණකි.අවකාශයේ ඉබාගාතේ පාවෙන සිතුවිලිය. ඇතුලාන්තය හිස්බවකි. ඒ හිස්බව තුළ නැවත කිසිදෙයක් ඒ තුළ පිළිසිද ගන්නේ නෑ.. මනස හිස්බව තුළ ගමන් කරයි. ඒ අවස්ථාව සරල ය...
නිදහස්ය.
සාමකාමීය.
සංවරය!!!
මේ මට මා මුණ ගැසෙන මොහොතයි.
හීන ලෝකයේ සැරිසැරෑ මා එක්වරම ශූන්‍ය. ආත්මයක මා මාවම සොයයි. මේ මොහොතේ මට වර්ණ සිතින් මවා ගැනීමට නොහැක. කිමද මෙතුවක් වශීකෘත වූ වර්ණ අතර ශූන්‍යයක් දනවන නිසාය. වර්ණ තුළ වූ අනර්ථය දැනේ.. සියලු වර්ණ ඇතුලාන්තයෙන් ඒකීය ලක්ෂයක හමුව විසිරැණු වර්ණයක ශූන්‍යයත්වයක් ගෙන එයි. දැන් සිත තුළ ඒ ශූන්‍ය වර්ණය සිතේ ඇතිකරන්නේ ලොව පවතින අනර්ථයයි. මේ විසල් ලොව තුළ නේක වර්ණයන්ගෙන් ප්‍රමුදිත වුවද අවසානයේ ශූන්‍යත්වය පමනක් ඉතිරි කරයි. මනස ගමන් කරන්නේ බාහිර අනර්ථයන්ගෙන්. අවශේෂ වූ ශූන්‍යත්වයටයි. ඒ තුලද සැබෑ සතුට... ආදරය.. නිවන.. පවතින්නේ යැයි මට දැනේ. නිවන නම් සිතේ පවතින ආදරයම නොවේද..? ඒ නිවීම නම් සංතාප ...සංවේග... තුලින් මතුවුනාවු නිවීමම නොවේද..? ලස්සන..ආදරය..නිවන... මේ මොහොතේ මා සිත නැවත විකසිත කරයි.

හේමාෂී සෙනරත්

Wednesday, September 26, 2018

වසන්තය පැමිණ ඇත


වසන්තය පැමිණ ඇත

මේ නිමේෂය ....
පටලවා අවුලවා ගත් අතීතෙක
නටඹුන් විසුණු වූ මොහොතක
සිරව හතිලමි දැණූ විඩාවට

වසන්තය පැමිණ ඇත
සමනලුන් රඟනු ඇත
රඟති උන් විඳිති උන්
සරඟ මල් පෙතිත් පුබුදුවා


හේමාෂි සෙනරත්

Monday, September 24, 2018

සංසාර වන්දනාව




මේ සංසාර වන්දනාව මහ පුදුම උරුම අරුමකම් කියන්නේ.දොහක් මට මතකයි මයෙ අම්මේ උඹැහේ ආකාසෙට අත් දික්කොරෝන කීවා ‘පරළොව වැඩිය මයෙ හීන් එකා එක්ක ගිය දිහාවට මාත් තුන්පෝයක් ගෙවුණු පසු ඒ දිපංකරේටම එක්ක පලයන් මයෙ හීන් එකෝ….’ කියා.

ඒ කදුළක පැල්ලම් ඉරි ඇදුණු ජනේල් කවුළුව ‘දඩාස්’ ගාමින් සුළගට වැසී ගියේ සත්තයි එයට හූමිටි තියන්නාක් මෙනි.තුන්පෝය ඉක්ම විහාරෙට දන්වේල බාරදී ආපහු එන වංගියේ මහා රුකක් පත බෑවුණා සේ උඹ පොළොවට කඩාපාත් වුණේ හීන් එකා මත්තෙම හැපි හැපී ඇඩූ කදුළු බර වැඩි කමටදෝයි මට සිතිණි.
අනේ මයේ අම්මේ….හින් එකා උඹේ එකම දරුවාද? කියාපන් මට…හීන් එකා ඈත්වුණා තමයි. උඹට ඒ දුක වාව ගන්න අමාරුයි. ඒත් මයෙ අම්මේ  උඹ කුස අල්ලාන ආව තව තුන්දෙනෙක් මාත් එක්කම.අනේ ජීවත් වෙයන් අම්මේ…තව අල්ලාපන් ඔය හුස්ම තව තිදෙනෙක් උඹ අරමිණියේ…උන් උඔ නැතිව සාංකාවේ මැරෙයි.මම  උඹේ එකම කෙල්ල.මං කෝම ඉන්නද උඹ නැතිව.මේ ගින්දර පොළොවට මම බයයි මයෙ අම්මේ…නැගිටපංකෝ මං කෝම ඉන්නද උඹ නැතිව.ගමේ උන් උඹට දොස් තියාවි උඹ හීන් එකා මත්තෙම නැහුණා කියලා.තව අල්ලාපන් ඔය හුස්ම.අනේ නැගිටපාන් මයේ අම්මේ….කතරගම් දෙයි හාමුදුරැවනේ …. නැගිටපන් මයේ අම්මේ…..

හේමාෂි සෙනරත්

Sunday, September 23, 2018

සිත ගාව මනලෝල මායා


 
සිත ගාව මනලෝල මායා

රෑ සිහින පාරා මනසේ රූප ඡායා
රෑ නේක සිහිනේ මැවුනේ නුඹෙ සේයා
පෙම්වන්ත සිහිනේම පේනා
සිත ගාව මනලෝල මායා

භව තිමිර හැර එන්න භවාත්මා...//

සිත නුඹ ගාව දැවටීම- සංතාප මායාව
ආශාව සයුරේහි කලතා තියා
නුඹ උදුරාන මා ලොවම-සිතගාව මිරිඟුවක
රෑ නාරි සේයාව මවලා තියා

භව තිමිර හැර එන්න භවාත්මා.....//

නුඹ ඉදුරාම මා ගාව-සංසාරෙ රැදි සෙනෙහෙ
පෙම් පාරමී සුවය රදවා තබා
යළි ඒ සුවද මා වෙතට-ගෙන එන්න පෙර සේම
පෙම් වෙහෙස මා සිතට හැරදා තියා//



හේමාෂී සෙනරත්

හූව මැද අවසන් ගමන් ගිය

හූව මැද අවසන් ගමන් ගිය නාදුනනවුන් සමග කිසිවක්ම නොදොඩාම ප් ‍ රජනනය පාඩම නොදැන ඈ හිටියෙ හැම රෑක ...